ශ්‍රී සුමංගල ජාතික පාසල-නිල්දණ්ඩාහින්න,නුවර එළිය (වලපනේ)
Sri Sumangala College Teakwondo,Nildandahinna-Nuwara Eliya
( National College )
නුවර එළිය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක එකම තයිකොන්ඩෝ පුහුණු පාසල හා සමස්ත ලංකා තයිකොන්ඩෝ ශ්‍රේණිගත කිරිමේ ප්‍රථම ස්ථානයට පත් කළ "රවිමල්" ගුරුපියාණන්... මේ කතාව රවිමල් ගුරු පියාණන් ගැනයි......
නිල්දණ්ඩාහින්න කියන්නේ ඒ තරම් දියුණු නගරයක් නෙවෙයි. මේ වගේ ගම්බද ප්‍රදේශයක සේවය කරන්න යන ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයන්ට ඒ සේවා කාලය මොන තරම් සතුටක්, තෘප්තියක් ගෙනදෙන කෙතරම් සුවදායී සැමරුම් කාලයක්ද කියලා දැනෙන්නේ වියපත් වී හුදෙකලා වෙන විට. බොහෝ අය එවැනි අවස්ථාවක් ලැබී තිබියදීත් එවැනි ප්‍රදේශවල සේවයට නොගොස් නාගරික ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් හදාගත්තු එක ගැන දුක්වන අවස්ථා කොතෙකුත් තියෙනවා.
"මාව මාරු කළේ උඩුදුම්බර ඒ.ජී.ඒ. ඔෆිස් එකට. ඒ කියන්නේ මෙයට අවුරුදු 25කට විතර ඉස්සර. එහෙම ස්ථාන මාරුවක් ලැබුණාම අලුත් සේවා ස්ථානය ගැන යන්න ඉස්සර වෙලා හොයල බලන එක සාමාන්‍ය සිරිතක්. විශේෂයෙන්ම ඒ කාලේ හැටියට උඩුදුම්බර වගේ එතරම් දියුණුවක් නැති ප්‍රදේශවල රැකියාවකට යනකොට.
නවතින්න නිල නිවාස තියෙනව. ඒ ගම් පළාත්වල ජීවත්වන මිනිස්සුත් ගොඩාක් සුහදශීලියි. මොනව හරි දඩයමක් කෙරුවත් ඒකෙන් මස් ටිකක් ගෙනැල්ලා ක්වාටස් එක ළඟ එල්ලලා යනවා. හිතවත් වෙලා හිටියොත් ගාතයක්ම වුණත් එල්ලලා යයි. ඒ කියන්නේ කොයිතරම් සැලකිල්ලක් ගෞරවයක් දක්වනවද කියල පේන්නේ ඒ අය අතරට ගිය වෙලාවකට. මරණයකට, මඟුලකට හරි කඩ මණ්ඩියකට හරි ගිය වෙලාවට. විශේෂයෙන්ම තරුණ කාලයේදී එවැනි පරිසරයක රැකියාවක් කරන්න ලැබුණේ නම් කොයි තරම් සුන්දර අත්දැකීම්වලින් ජීවිතය පුරවා ගන්න තිබුණා නේද කියලා දුක හිතෙන්නේ පසුකාලීනව ඒ ගැන කල්පනා කරල බලනකොට.
"දවස ගාණෙම දඩ මස් හම්බෙනවා විතරක් නෙවෙයි. අක්කර ගණන් කැලේ කොටාගෙන සමහර රජයේ සේවකයෝ මිරිස් වගා කරනවා. හැබැයි පුතෝ අලි ඉන්න එක තමයි ගැටලුව. ක්වාටස් එක ළඟටත් අලි එනවා." ඒ තමයි මාව නතර කළ වචනය. ඒත් ඒ ගැන නොසිතා මීට අවුරුදු 25කට ඉස්සර වෙලා උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකරුවකු හැටියට සේවයට ගිහින් තිබුණා නම් කොයිතරම් වෙනසක් ඒ පළාතේ මිනිසුන්ගේ වගේම මගේ ජීවිතයෙත් සිදුවීමට ඉඩ තිබුණාද කියලා හිතෙන්නේ පසුගිය දවසක නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලෙන් අසන්නට ලැබුණු මේ කතාවත් එක්ක.
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ උපන් තරුණ ගුරුවරයෙක් තමයි රවිමල් ගුණරත්න කියන්නේ. තාත්තා බැංකු රැකියාවක් කරපු අතර අම්මා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් කෙරුවේ. රවිමල්ට බාල සොයුරියක් සිටියා. විශ්වවිද්‍යාල ජීවිතය අවසන් කරල තම සොයුරියත් එක්ක නිවෙසේ බොහොම සතුටින් ඉන්නකොට තමයි ගුරු පත්වීමක් ලැබුණේ.
නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ සංයුක්ත ගණිතය විෂය භාර ගුරුවරයා හැටියට. ඒ මෙයට අවුරුදු 7කට පමණ පෙර. එනම් 2009 අවුරුද්දෙදි.
මේ ඉස්කෝලෙ ඉගෙන ගන්නේ ධනවතුන්ගේ දරුවොම නෙවෙයි. මේ පරිසරයේ හැටියට කෘෂි කර්මාන්තයෙන් යැපෙන බොහොම දුප්පත් අම්මලා, තාත්තලාගේ දරුවොත් මේ පාසලට ආවා. හැබැයි ඔවුන් මානසික වගේම ශාරීරිකවත් බොහොම ශක්ති සම්පන්නයි කියලා තේරුම් ගන්න මේ තරුණ ගුරුවරයාට ඒ තරම් කාලයක් ගියේ නෑ.
මුහුදුකරයේ ජනතාවට මාළුන්ගෙන් අඩුවක් නෑ වගේ රටේ කොයි පළාතක කෑම බීමවලින් අඩුවක් තිබුණත් මේ ප්‍රදේශයේ කොස්, පොළොස්වලින් අඩුවක් නෑ වගේම රජ දවසේ සිට පැවැත එන පැරැණි ගම්මාන හින්දම බත බුලතෙනුත් අඩුවක් නෑ.
ගණිතය විෂය උගන්වන ගමන් රවිමල් තරුණ ගුරුතුමාට මේ සිසු දරුවෝ තුළ ඇති කඩිසරකම බව මෙන්ම විනීතකම දැක්කම මතක් වුණේ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඉගෙන ගත්ත ටයිකොන්ඩෝ ක්‍රීඩාව. තමන් අමතර දෙයක් ලෙස ජීවිතයට එක්කරගත් ටයිකොන්ඩෝ ක්‍රීඩාව මේ සිසු දරු දැරියන්ටත් උගන්වන්න ඇත්නම් කියන සිතිවිල්ල ඔහුගේ සිතේ දිනෙන් දිනම වැඩී එන්නට වුණා. ඒ අනුව ඔහු තමා ඉගැන්වීම් කරන උසස් පෙළ පන්තියේ සිසු සිසුවියන් හතර පස් දෙනෙක් එකතු කරගෙන ඔවුන්ට මෙම ටයිකොන්ඩෝ ක්‍රීඩාව කියන්නේ මොකක්ද, එය ඉගෙන ගන්න එකෙන් ජීවිතයට අත්වන වැදගත්කම හා වාසි පිළිබඳව දැනුවත් කළාම ඒ කීප දෙනෙක් මෙම ක්‍රීඩාව පුහුණු වන්නට කැමැත්ත පළකළා.
ඒ තමයි මේ විශාල ජයග්‍රහණයක ආරම්භක අවස්ථාව. මුළු රටේ සියලුම පාසල් අභිභවා සමස්ත ශූරයන් පිරිසක් බිහිකරලීමේ මුල්ම අඩිතාලම.
ඒ විදියට දරුවෝ ටිකෙන් ටික මේ ක්‍රීඩාව ඉගෙන ගන්න පෙලඹුණා. ටයිකොන්ඩෝ ක්‍රීඩාව සිසු දරු දැරියන්ට පුරුදු පුහුණු කරන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රථම පාසල බවට නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසල ඒ විදියට පත්වෙද්දී කාගෙත් උදවු උපකාර ඒ තරම් ලැබුණේ නැත්තේ මේ ක්‍රීඩාව ගැන ඒ තරම් අවබෝධයක් හා අනාගතයක් ගැන බොහෝ දෙනාගේ තිබුණු අල්ප දැනුම.
ඒත් විදුහල්පතිතුමා සහ ගුරුවරුන්ගෙන් මෙය දිගටම පවත්වාගෙන යෑම සඳහා උදවු ලැබුණා. බොහොම අමාරුවෙන් ගාඩ් සෙට් එකක් අරගෙන තමයි මුලින්ම පුහුණුවීම් කටයුතු කරගෙන ගියේ.
දරුවන් හිතුවටත් වඩා දක්ෂයි. ඔවුන් බොහොම ඉක්මනට මෙම සටන් කලාව ඉගෙන ගන්නා අතර ඉතාමත් දක්ෂ ලෙස ක්‍රීඩා කරන බව පෙනුණාම පාසල් තරගවලට ඉදිරිපත් කිරීමට තීරණය කළා.
එහි ප්‍රතිඵලයක් හැටියට 2014 වසරේදී ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය මඟින් සංවිධානය මඟින් 6 වැනි වරටත් සංවිධානය කොට තිබූ අන්තර් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී බාලක, බාලිකා ශූරතා දෙක සහ තරගාවලියේ සමස්ත ශූරතාවයද මෙම කුඩා පාසල දිනා ගැනීමත් සමඟම සියලු දෙනාගේම ඇස් මේ සිසු දැරියන් වෙතට සහ ක්‍රීඩා උපදේශකවරයා වූ අපේ ගණිත ගුරුවරයාණන්වත් රවිමල් ගුණරත්න මහතා වෙත යොමු වුණා.
සමස්ත ශූරයන් වූ මෙම පාසලේ දරු දැරියන්ට පුහුණු කටයුතු කිරීම සඳහා ඒ වන විටත් තිබී ඇත්තේ ගාඩ් සෙට් දෙකකි. එයින් උපරිම ප්‍රයෝජන ලබාගෙන මෙවැනි පාසලක සිසු දරු දැරියන් දැක්වූ දක්ෂතාවන් ගැන නොයෙකුත් අන්දමින් ආරංචි පැතිර යද්දී මෙම විදුහලේම විශේෂිත වූ ආදි සිසුවකුගේද මෙම ආරංචිය කන වැකුණා.
ඔහු වෛද්‍යවරයෙක් පමණක් නොව රෝහල් අධ්‍යක්ෂවරයෙක්. නමින් අසේල මහේෂ් ජයසේකර. ඒ මහතා ඒ වන විට දෙල්තොට රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසට කටයුතු කරමින් සිටියේ තමා ඉගෙන ගත් තම පාසලේ ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් දස්කම් දක්වන නංගිලා මල්ලිලාගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරගැනීම සඳහා ක්‍රීඩා පුහුණුවීම් උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට කල්පනා කළ ඒ මහතා බොහොම කැමැත්තෙන් ඒ දේ සිදුකළා.
ඊට පස්සේ සිසු සිසුවියන් හැටකට හැට පහකට පමණ පුහුණුවීම් කළ හැකි තත්ත්වයක් උදාවුණා. ඒත් කාලය එසේ ගතවන වන අතරතුර හැම පළාතකම, පෙදෙසකම, ගමකම සිදුවන දේ මේ නිල්දණ්ඩාහින්න ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ මවුපියන්ට පොදු වුණා.
තම දරුවාට කෙතරම් කලා හැකියාවන් තියෙන බව පැහැදිලිව පෙනුණත් තම දරුවා දක්ෂ ක්‍රීඩකයෙක් බව පැහැදිලිව පෙනුණත් ඒ මඟෙන් ඉවත් කරගෙන වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවරයෙක්, ගණකාධිකාරිවරයෙක් වැනි වෘත්තීන් සහිත මාර්ගයන්ගේ රැගෙන යෑමට උත්සාහ කරන මවුපිය සිතුවිලි මෙතැනදීත් ඉස්මතු වුණා.
විටින් විට කී දේවල් ඉස්මතු වුණත් නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ විදුහල්පති කපිල අත්තනායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසකගෙන් සහ ඇතැම් මවුපියන්ගෙන් ලද සහයෝගය මැද්දේ 2015 වසරේ සමස්ත ලංකා තරගාවලියටද සිසු දරු දැරියන් පිරිසක් ඉදිරිපත් කළා.
එහිදී සිදු වූයේත් කිසිවකු බලාපොරොත්තු නොවූ දෙයක්. සමස්ත තරගාවලියෙන් රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 14ක් ඇතුළු පදක්කම් 27ක් දිනා ගැනීමට මෙම ගණිත ගුරුවරයා උගන්වපු පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායම සමත් වුණා.
ලංකාව පුරාම තියෙන පාසල් 60ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 600ක් පමණ එම තරගාවලියට සහභාගි වෙලා සිටින අතර එය පවත්වනු ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල බාලක විදුහල් ශ්‍රවණාගාරයේදී.
ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කොට තිබූ 7 වැනි වරට පැවැති එම අන්තර් පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී 2015 වසර වෙනුවෙන් ඒ අන්දමට පදක්කම් 27ක් දිනාගැනීමට ලැබුණද මෙවර මෙම පාසලට දිනාගත හැකි වූයේ සමස්ත තරගාවලියේ බාලිකා ශූරතාව පමණි. මෙයට බාලක අංශයෙන් ඉදිරිපත්ව සිටි කණ්ඩායමෙන් රන් පදක්මක් සහිතව රිදී හා ලෝකඩ පදක්කම් ඇතුළුව පදක්කම් 5ක් දිනා ගැනීමට සමත් වුණත් ඔවුනට මෙවර ගියවර දිනාගෙන සිටිය බාලක ශූරතාව දිනාගැනීමට නොහැකි වුණේ පුහුණුවීම් කොට සිටි දක්ෂ දරුවන් කීප දෙනකුටම තරගාවලියට ඉදිරිපත් වීමට නොහැකි වීමයි. එක් දරුවකුට අසනීප තත්ත්වයක් ඇති වුණා. තවත් කීප දෙනකුට විභාගවලට සූදානම් වීමට තිබූ නිසා ඒ අවස්ථාව මඟහැරී ගියා. කරුණු එසේ සිදු වුවද බාලක ශූරයන්ගෙන් 3 වැනි ස්ථානය දිනා ගැනීමට තම විදුහලට හැකි වූ බව පවසන රවිමල් ගුණරත්න මහතා කියා සිටියේ තමන් සිටියේ ලකුණු 8ක් පමණක් පිටුපසින් බවයි. "අපිට අඩු වුණේ ලකුණු 8ක්" යනුවෙන් පවසන විට ඒ තරුණ ගුරු පියාගේ හඬෙහි යම් වෙනසක් දක්නට ලැබුණා. ඔහු මේ වනවිට ගුරුවරියකගේ ආදරණීය සැමියෙක් වගේම චූටි දරුවකුගේ තාත්තා කෙනෙක්. තම කාලය ශ්‍රමය කැප කරමින් තමන්ට කිසිදු අදාළත්වයක් නැති ක්ෂේත්‍රයක් තුළට සිසු දරු දැරියන් රැගෙන යමින් ඔවුන් ජාතික තලයට රැගෙන යෑමට ඔහු කරන්නා වූ මේ මහඟු උත්සාහයට කොයි කාගේත් සහයෝගය විශේෂයෙන් නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ගේ මවුපියවරුන්ගෙන් ලැබිය යුතුද යන්න මේ තරුණ ගුරු පියාගේ ඒ කටහෙ¾ඩ් පැහැදිලිවම ගැබ් වී තිබුණා.
එසේම තමා චිත්‍ර උගන්වන ගුරුවරියක් මෙම පාසලේ ඉගෙන ගන්නා සිසු දරු දැරියන් විස්සක් තිහක් පමණ ජාතික තලයේ චිත්‍ර තරගවල ජයග්‍රාහකයන් බවට පත්කර තිබුණා වගේම පාසලේ ගණිතය විෂයය උගවන්වන්නට ආ ගුරුවරයෙක් එහි සිසු දරු දැරියන්ට ටයිකොන්ඩෝ ක්‍රීඩාව උගන්වා සමස්ත ලංකා තරගාවලියකදී එහි සිසු දරු දැරියන් රන් පදක්කම් 10ක් ඇතුළු පදක්කම් 27ක් දිනා ගැනීමත් අපූරු දහමක් රට කියන්නා සේම උපතින් ගෙනා හැකියාවන් කියන සිතිවිල්ල හා ආකල්පය සිඳ බිඳ දමා තිබුණා.
මෙම දෙදෙනාම රටට ඔප්පු කොට පෙන්වා ඇත්තේ 'කැමැත්තයි, වුවමනාවයි තිබේනම් ඕනම සිසු දරුවකුට සැබෑ ගුරුවරයකු යටතේ එහි කෙළවරට යා හැකි බවයි.'
උපුටා ගැනීම: මව්බිම පුවත්පතෙනි.
Crate: W.M.N Chinthaka
No comments:
Post a Comment